2. ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය
2.1 ධීවර කර්මාන්තය යනු කුමක්ද?
වර්ග කිලෝමීටර 21756 ක් විශාල මහද්වීපයක තටාකයක් සහ කිලෝමීටර 1360 ක් දිග වෙරළ තීරයකින් සමන්විත මෙරට සාගර සම්පත තුළ වෙරළේ සිට මුහුදු සැතපුම් 200 ක් තරම් වූ අනන්‍ය ආර්ථික කලාපයක් වෙන් කර ඇත. මෙම කලාපය තුළ නිදහසේ ධීවර කර්මාන්තයේ නියැලීමේ අයිතිය මෙරට ධීවරයා සතුය.
ධීවර කර්මාන්තයේේ ආරම්භයට අවුරුදු දහස් ගණනක ඉතිහාසයක් ඇතැයි කිව හැකිය. ප්‍රාථමික වශයෙන් මෙය ආරම්භ වූවා යැයි සැලකිය හැක්කේ ක්‍රි.ව 105 සිට 109 දක්වා කාලයේ ය. මෙය අනුරාධපුර රාජධානියෙහි රාජ්‍ය පාලනය කරනු ලැබූ වසභ රජ දවස ආරම්භ වූවා යැයි සැලකිය හැකිය.ධීවර කර්මාන්තය මුලින්ම ආරම්භ කරනු ලැබූයේ මිරිදිය ආශ්‍රය කරගෙනය. මිරිදිය ධීවර කර්මාන්තයේ ව්‍යාප්තිය හේතු කොට ගෙන කරදිය මසුන් ඇල්ලීම දක්වා වර්ධනය වී තිබේ.
මේ අයුරින් ඇරඹුණු මත්ස්‍යයන් ඇල්ලීම දිගු කාලයක් තිස්සේ විකාශනය වීමේ ප්‍රතිඵලයක් ලෙස ධීවර කර්මාන්තයක් දක්වා වර්ධනය වී ඇත. ඉංග්‍රීසි ශබ්ද කෝෂයට අනුව Fisherman යනු මසුන් මරන්නා ය. නමුත් ඇතැම් ග්‍රන්ථයන්ට අනුව මසුන් ඇල්ලීමෙහි නිරත වන්නා ධීවරයා වේ. එහෙත් එම ප්‍රකාශය තාර්කික නොවේ. මන්ද යත් සුරතල් මසුන් අල්ලන්නේ සුරතලයට ඇති කිරීමට, විකිණීමට,අපනයනයට පමණක් වන නිසාය. ඔවුන් සුරතල් මසුන් කිසි විටක පරිභෝජනය සඳහා නොගනී. මේ හේතුවෙන් මසුන් අල්ලන පුද්ගලයන් ධීවරයන් වන්නේ නැත. ධීවරයන් යනු සැබෑ ලෙසම අපට හඳුනාගත හැක්කේ මසුන් මැරීමෙහි නිරත වන පුද්ගලයන් ය. මසුන් ඇල්ලීමේ අතීතයේ ප්‍රධාන පරමාර්ථය වී ඇත්තේ ද මිනිසාගේ පරිභෝජනය සඳහාය. ඒ නිසාම පරිභෝජන අවශ්‍යතා ඉටු කරනුවස් මසුන් මැරීමෙහි නිරත වන්නාට ධීවරයා යන නම යෙදී තිබේ.
වෘත්තියක් ලෙස පූර්ණකාලීනව අර්ධකාලීනව මසුන් මැරීමෙහි නිරත වන පුද්ගලයා හා ඔවුන් විසින් අල්ලා ගන්නා මත්ස්‍ය අස්වැන්න අලෙවි කිරීමෙහි නිරතව සිටින පුද්ගලයා ශ්‍රී ලංකා ජනරජය මගින් ධීවරයෙකු ලෙස හඳුන්වනු ලැබේ. ( 1996 අංක 2 දරන ශ්‍රී ලංකා ජනරජය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන පනත )
ජාතික ධීවර සහයෝගීත්වය ට අයත් ධීවර ප්‍රජාවගෙන් සැඳුම්ලත් ධීවර ක්‍රියාකාරීන් පවසන්නේ ධීවරයා යනු තම ජීවත්වීම සඳහා වෘත්තීයමය වශයෙන් නිරතුරුව මසුන් ඇල්ලීමෙහි පුද්ගලයා ය. ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කරන්නා හෝ සුළු වශයෙන් හා විනෝදය පිණිස මසුන් මැරීමෙහි නිරත වන අයකු වේ නම් ධීවරයන් නොවන බව එම සංවිධානයේ මතය වේ. (ජාතික ධීවර ප්‍රතිපත්තිය, 1999, 38 පිටුව)
RAYMOND FIRTH විග්‍රහ කර ඇත්තේ සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයේ හෝ ධීවර ක්‍රම මගින් සරල ශිල්පීය ක්‍රම භාවිත කරමින් තම පරිභෝජනය ප්‍රමුඛ කර ගනිමින් සාම්ප්‍රදායික සිරිත් අගයමින් ජීවත්වන ජන කණ්ඩායම් ගැමියන් වන බවයි. ඔහුට අනුව සාම්ප්‍රදායික පන්න ක්‍රම භාවිත කරමින් සිය යැපීම් සඳහා මෙන් ම සුළු පරිමාණ අලෙවිය සඳහා මසුන් මැරීමෙහි නිරත වන්නා ධීවරයා ය. (පෙරේරා, 2002, 143 පිටුව) මලයාවේ කෙලින්ටන් වෙරළාශ්‍රිතව RAYMOND FIRTH කළ අධ්‍යනයෙන් පෙන්වා දෙන්නේ,
ධීවරයන් කෘෂිකාර්මිකයන් සමඟ සම්බන්ධතා පවත්වාගෙන යයි. එසේම බොහෝ ධීවරයන් ධීවර කටයුතු වලට අමතරව කෘෂිකාර්මික කටයුතුවල ද නිරත වෙයි. ධීවරයන් සිය විශේෂ උත්සව අවස්ථා සඳහා ඥාති හිතවතුන්ට ආරාධනා කරයි. ධීවරයන් හා කෘෂිකාර්මිකයන් අතර විවාහ සම්බන්ධතා ද ඇත. මේ අනුව ධීවරයන්ද ගැමි අර්ථ ක්‍රමයට අයත් කොටසක් ලෙස හඳුන්වා දිය හැක.( පෙරේරා, 2002, 145 පිටුව)
අතීතයේ සිට ම මිනිස්සුන් මසුන් ඇල්ලීමෙහි නිරත වේ. ලෝක නීල විප්ලවයට පෙර යුගයේ බොහෝ විට මසුන් ඇල්ලීමෙන් වාණිජ පරමාර්ථයක් බලාපොරොත්තු වූයේ නැත. ඔවුනට උපරිම ලාභයක් අවශ්‍ය නොවීම ඊට හේතුවයි. අවශ්‍ය වූයේ වුයේ අවශ්‍යතාවන්ට පමණක් මත්ස්‍යයින් අල්ලා ගැනීම පමණි. නමුත් නීල විප්ලවයක් සමඟ මෙය වෙනත් මාවතක් කරා ඇදී යාම සිදුවිය. නීල විප්ලවය යනු සාගර සම්බන්ධයෙන් සිදු වූ කාර්මික සංවර්ධනය යි. විශේෂයෙන් ම මසුන් අල්ලා ගැනීමේ තාක්ෂණික ක්‍රම අධි සංවර්ධිත මට්ටමට ලොව දියුණු ජාතීන් විසින් පත් කිරීම නිල විප්ලවය වශයෙන් හඳුනාගත හැකිය. මෙය පසුව ලෝකයේ සෑම සමාජයකටම පාහේ ව්‍යාප්ත වීම හේතු කොට ගෙන ධීවර කර්මාන්තය ස්ථාපිත වී දියුණු වීමට පටන් ගැණුනි. ඒත් සමඟම අවශ්‍යතාවට නොව උපරිම වාණිජ ලාභය ලබා ගැනීම සඳහා මත්ස්‍ය නිෂ්පාදනය කිරීම ආරම්භ විය.
1950 - 70 දශකයේ දී පමණ ධීවර කර්මාන්තයේ සංවර්ධනය ලංකාවට බලපාන ලද බව සඳහන් කළ හැකිය. මෙතෙක් සාම්ප්‍රදායික ක්‍රම උපයෝගී කරගනිමින් මත්ස්‍ය නිෂ්පාදනයෙහි යෙදුන මිනිසුන් නවීන තාක්ෂණ ක්‍රම කෙරෙහි නැඹුරු විය. මෙහි දී පුද්ගලයින් තුළ ඇති වූ ආකල්පවල ස්වභාවය සෘජු ලෙසම බලපානු ලැබීය. විශේෂයෙන්ම ධීවර කර්මාන්තය ආර්ථිකේ තව දුරටත් පුළුල් කළ හැකි ක්ෂේත්‍රයක් ලෙස මෑත දශකයන්තහි පිළිගෙන තිබේ. මීට හේතු වශයෙන් මසුන් බෝ කිරීම සහ අල්ලා ගැනීම කොතෙකුත් ඇති මිරිදිය වැව් සහ ජලාශ, කිවුල්දිය කලපු මෝවිටි, විල්ලු ආදියත් දිවයින වටා ඇති මහ මුහුදු තීරයේ සුලභව ඇති මාළු සම්පත් දැක්විය හැක. තවද මාළු ශ්‍රී ලාංකික ජනයාගේ ආහාරවල අඩංගු වන ජනප්‍රිය ව්‍යංජනයකි. එසේම එය ප්‍රධාන මාංශ ජනක ප්‍රෝටීන් මූලාශ්‍රයක්ද වේ. නිරන්තරයෙන් ම සෑම සංවර්ධන සැලසුමකම ප්‍රමුඛත්වයෙහි ලා ධීවර කර්මාන්ත සංවර්ධනය සැලකීමට මේ කරුණු හේතු වූ බව සැබැවි.
ශ්‍රී ලංකාව වූ කලී මුහුදෙන් වට ව පිහිටි දූපතක් නිසා රටේ වර්තමාන මසුන් නිෂ්පාදනයෙන් 85% ක් මුහුදු මසුන්ගෙන් සමන්විත වේ. ඉතා සුලභව අනුගමනය කරනු ලබන මසුන් ඇල්ලීමේ වර්ගයක් වන්නේ මුහුදු මත්ස්‍යයන් ඇල්ලීමය.
❤
ReplyDelete