Tuesday, July 9, 2019

                              පර්යේෂණ ක්‍රමවේදය සමාජ විද්‍යාඥයා සමාජය නැමැති පර්යේෂණාගාරය තුළ හිඳිමින් සිය අධ්‍යනයන් මෙහෙය වනු ලබයි. විවිධ සාධකයන් මුල් කොට ගනිමින් විවිධ වූ පර්යේෂණයන්හි නිරත වෙනු ලබයි. පර්යේෂණයක් එක් අදියරයකින් හෝ දෙකකින් ප්‍රතිඵල නෙලා ගත හැකි ක්‍රියාවක් නොවේ. එය අදියර ගණනාවක් එකට බැඳී ඇති ක්‍රියාවලියකි. සමාජ විද්‍යා පර්යේෂණ තුළ පර්යේෂණ ක්‍රමවේදයට වඩා වැදගත් තැනක් හිමිවේ. ''පර්යේෂණ ක්‍රමවේදය යනුවෙන් අදහස් කරන්නේ දත්ත රැස් කිරීමට යොදා ගන්නා විද්‍යාත්මක ශිල්ප ක්‍රම මොනවාද යන්නයි.'' මෙය පර්යේෂණයේ ඉතා වැදගත් කඩයිම් අවස්ථාවකි. එයට හේතුව මෙතෙක් පසු කළ පියවරවල් එක්තරා දුරකට න්‍යායාත්මක ස්වරූපයක් ගැනීම ය. ( කරුණාරත්න, 2001, පිටුව 9 ) මේ අනුව පර්යේෂණය සඳහා යොදා ගනු ලබන ක්‍රමවේදය වඩාත් වැදගත් වන බවයි.

                              පර්යේෂණ ක්‍රමයක් යන්න කුමක්දැයි විමසා බලන විට ''පර්යේෂණ ක්‍රමය විෂය පථයට, අධ්‍යයනයෙන් අධ්‍යනයට එමෙන් ම පර්යේෂකයා ගෙන් පර්යේෂකයාට වෙනස් විය හැකිය. (ධර්මසිරි, 2004 ,පිටුව 24 )පර්යේෂණයක් මෙහෙයවීම සඳහා යොදාගත හැකි පර්යේෂණ කිහිපයක් හඳුනාගත හැකිය. තුලනාත්මක ක්‍රමවේදය, ඓතිහාසික ක්‍රමවේදය, ජීවන ඓතිහාසික ක්‍රමවේදය යනාදී වූ වශයෙනි. මෙම අධ්‍යනය සඳහා සමීක්ෂණ ක්‍රමය සහ සංඛ්‍යාත්මක ක්‍රමය භාවිත කරන ලදී. ඒ.එම් දක්වන ආකාරයට සමීක්ෂණයක් යනු විද්‍යාත්මක ක්‍රමයක් තුළ යොදා ගත හැකි සංසන්දනාත්මක නැඹුරුවක් විය හැකි අතර එයත් යම් භූගෝලීය සීමාවක් තුළ වර්තමානයේ පවතින සමාජ ප්‍රශ්න පිළිබඳව අධ්‍යනයක් කිරීම තුළින් ඒවා නිශ්චිතව හඳුනා ගත හැකි අතර එම සමාජය පිළිබඳව පොදු දැනුමක් මෙන්ම බුද්ධිමය වූ සම්බන්ධීකරණ ක්‍රියාවලියකට මග පාදා ගත හැකි පර්යේෂණ ක්‍රමයක් වේ. (1943, .46) යම් සමාජ ගැටලුවකට විසඳුම් සෙවීමේ දී අධ්‍යනය සඳහා පහසුවෙන් යොදා ගත හැකි ක්‍රමයක් නිසාත් මූලික වශයෙන් ඕනෑම ප්‍රශ්නයක් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට හා යම් සිද්ධියක් විස්තර සහිතව පැහැදිලි කර ගැනීමට මෙම ක්‍රමය ඉතා වැදගත් වේ. එසේම අධ්‍යනය සඳහා ධීවර ජනතාවගේ භාෂාව, සමාජ තොරතුරු මෙන්ම ආර්ථික තොරතුරු ලබා ගැනීම උදෙසා ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක දත්ත උපයෝගී කරගත යුතු නිසාවෙන් සමීක්ෂණ ක්‍රමය අධ්‍යනය සඳහා මනා පිටුවහලක් විය. සමීක්ෂණ ක්‍රමය මගින් ලබාගත් ප්‍රමාණාත්මක දත්ත සංඛ්‍යාත්මක ක්‍රමය ඔස්සේ සංඛ්‍යාත්මකව ගණනය කිරීම හරහා විශ්ලේෂණ ක්‍රමයක් ලෙස සංඛ්‍යාත්මක ක්‍රමය දැක්විය හැකිය.(පලිහවඩන, 2006, පිටුව 198)
                             
                                 මෙම අධ්‍යනය සඳහා සංඛ්‍යාත්මක ක්‍රමය භාවිත කරන්නේ නිරීක්ෂණයෙන් හා සමීක්ෂණයෙන් ලැබෙන සියලුළුම දත්ත අර්ථාන්විත ලෙස සැකසීමට යොදා ගනු ලබන ගණිතමය ක්‍රමයක් ලෙසටය. එසේ ම පර්යේෂණය සඳහා බඳුන් කළ ධීවර ජනතාවගෙන් ලබාගත් සියලුම සමාජමය දත්තයන් විශ්ලේෂණය කර නිගමනයන් වලට පැමිණීමට සංඛ්‍යාත්මක ක්‍රමය තුළින් හැකිවිය. මෙම පර්යේෂණ ක්ෂේත්‍ර අධ්‍යයන සැලැස්මක් ආශ්‍රයෙන් සිදු කරනු ලබන්නක් බැවින් ගුණාත්මක දත්ත රැස් කිරීමේ ශිල්ප ක්‍රම අතුරින් ප්‍රශ්නාවලී ක්‍රමය, නිරීක්ෂණ ක්‍රමය සහ සම්මුඛ සාකච්ඡා ක්‍රමය ප්‍රධාන වශයෙන් යොදා ගන්නා ලදී. ප්‍රශ්නාවලී ක්‍රමය යනු සමාජය පිළිබඳව තොරතුරු ලබා ගත හැකි ඉතාමත් ප්‍රචලිත පරීක්ෂණ ක්‍රමයකි. (පලිහවඩන, 2006, පිටුව 255) ප්‍රශ්නාවලී ක්‍රමය අධ්‍යනය සඳහා යොදා ගනු ලැබුයේ දත්ත විශ්ලේෂණය පහසු කරවීම සදහා ය.


                                එමෙන්ම සෑම අංශයක්ම ආවරණය වන සේ තොරතුරු ලබාගැනීම සඳහා ප්‍රශ්නාවලිය තවදුරටත් වැදගත් විය. අදාළ ප්‍රශ්නාවලිය තෝරා ගත් නියදියට ඉදිරිපත් කරමින් පිළිතුරු ලිඛිතව ලබා ගැනීම සිදුවිය. සම්මුඛ සාකච්ඡා ක්‍රමය ද දත්ත රැස් කිරීමේ තවත් ශිල්ප ක්‍රමයක් වන අතරම අධ්‍යනය සඳහා වඩාත් වැදගත් විය. සම්මුඛ සාකච්ඡා යනු දෙපිරිසක් අතර ඇතිවන සාකච්ඡාවයි. මෙහිදී මූලික වශයෙන් වැදගත් වන්නේ දෙපිරිසම හෝ දෙදෙනා අතර පවතින උණුසුම් සුහද බවයි. (අමරසේකර 1998 පිටුව 27) කෙටියෙන් සඳහන් කළහොත් සම්මුඛ සාකච්ඡා ක්‍රමය යනු පරීක්ෂණයට භාජනය වන පුද්ගලයන් හා වාචික ප්‍රශ්න ඉදිරිපත් කරගෙන තොරතුරු ලබා ගැනීමේ ක්‍රමයයි. මෙම ධීවර ගම්මානය අධ්‍යනය කිරීම සඳහා සම්මුඛ සාකච්ඡා ක්‍රමය යොදා ගැනීම වඩාත් වැදගත් විය. මෙම ග්‍රාමයේ වැඩිහිටියන්, කාන්තාවන්, පුරුෂයන් සමග සාකච්ඡා කිරීම තුළින් බොහෝ තොරතුරු අනාවරණය කරගැනීමට හැකි විය. තවද ග්‍රාම නිලධාරි මහතා, පියතුමා හමුවී වැසියන් ගේ සමාජ,දේශපාලන, ආගමික හා සංස්කෘතික පසුබිම පිළිබඳ සාකච්ඡා කිරීමට හැකිවිය. එබැවින් දකුණු තොඩුවාව ප්‍රදේශය පිළිබඳ දත්ත ඒකරාශී කිරීමට හැකි විය. සම්මුඛ සාකච්ඡා ක්‍රමයට අමතරව දත්ත රැස් කිරීම සඳහා යොදා ගත් අනෙක් ක්‍රමය වන්නේ නිරීක්ෂණයයි. සහභාගී නොවන නිරීක්ෂණවලදී පර්යේෂකයා අදාළ ප්‍රපංචය හෝ ප්‍රජාව තුළ කිසිම කාර්යයකට සහභාගී නොවන අතර ඔහු විසින් තමන්ගේ නිරීක්ෂණ කරගෙන යනු ලැබේ. (සිල්වා, 2001 , පිටුව 158 )


                                  මෙම නිරීක්ෂණ ක්‍රමය යොදා ගනිමින් දකුණු තොඩුවාව ග්‍රාමයේ ජනයාගේ ආර්ථිකය, ආගමික කටයුතු, පුද පූජා දෛනික දිවිපෙවෙත යනාදිය පිළිබඳ වඩ වඩාත් අධ්‍යනය කිරීමට හැකි විය. ඕනෑම පර්යේෂණයක දී රැස් කරනු ලබන තොරතුරු ප්‍රාථමික මූලාශ්‍ර හා ද්විතීක මූලාශ්‍ර වශයෙන් කොටස් දෙකකට බෙදිය හැක. ප්‍රාථමික මූලාශ්‍ර යනු පර්යේෂකයා විසින් ම සොයා ගන්නා ලදුව දැනට විවිධාකාරයෙන් වාර්තා කර ඇති කරුණුය. (කරුණාරත්න, 2001, පිටුව 27) මෙම අධ්‍යයනය සඳහා ප්‍රාථමික දත්ත ලෙස යොදාගනු ලැබුයේ ගමේ වැඩිහිටියන්ගෙන්, ගමේ පුරුෂයන්ගෙන්, ගමේ කාන්තාවන්ගෙන්, ග්‍රාමසේවක මහතාගෙන් හා ආගමික නායකයින්ගෙන් ලබාගත් තොරතුරු මතය. ද්විතීක මූලාශ්‍ර ඕනෑම පර්යේෂණයක දී යොදා ගනු ලබන දෙයකි. එය විද්‍යාත්මක ශික්ෂණයක් පර්යේෂණයකට එකතු කිරීමකි. ද්විතීක මූලාශ්‍ර පරිහරණය කරනු ලබන සෑම අවස්ථාවකදී ම තම පර්යේෂණයේ අදාළ තැන්වල සඳහන් කිරීම පර්යේෂණ ආචාර ධර්ම වලට අයත්ය. (කරුණාරත්න, 2001, පිටුව 27) මෙහිදී මා විසින් ද්විතීක මූලාශ්‍ර ධීවර අමාත්‍යාංශය මගින් පල කරනු ලබන සංගණන වාර්තාවන් තුළින්ද ධීවර කර්මාන්තය හා සම්බන්ධයෙන් පළ කරනු ලබන වාර්තාවන් තුළින් ද අනෙකුත් පොත පත පරිශීලනය කිරීමෙන් ද යොදාගනු ලැබිණි. මේ සියල්ල ඒකරාශී කරගනිමින් සාර්ථක අධ්‍යනයක නිරත වීමට හැකි වුණි.

No comments:

Post a Comment