Tuesday, July 23, 2019

වෙරළබඩ ජන වහරින් බිඳක්........

1. ඈත මුහුද - දියඹ
2. ගැඹුරු මුහුද - ආලිය
3. වැහි වලාවෙන් අහස අඳුරු වීම - පුවාරුව
4. ඉර උදා වෙන්නට කලින් පෙනෙන ආලෝකය - ගොඩ එළිය
5. ඈත මුහුදේ මසුන් මැරීමට යනවා  - දියඹ යනවා
6. මුහුදු යනවා - රස්සාවට යනවා
7. කාලගුණය - ඉයත්තුව
8. මුහුදු මැද දරුණු රැළි ගැසීම - ඉයුරු මාරියා
9. මාළු රංචුව - මාළු අයින
10.මුහුද සැර කාලය - වාරකන්
11.මාළු දමන කූඩය - බට කූඩය
12.දැල් එකතු කිරීම - කෝඝු කිරීම
13.දැලක ඉරුණු තැන් සකස් කිරීම - ඉරුම් බැඳීම
14.සැඩ මාරියාව - මාරියාව
15.හොදි  - තැම්බුම් හොද්ද
16. ගොඩ බිම - ගොඩ
17.  කලපු දිය හා මුහුදු දිය මිශ්‍රවීම වීම - වඩ දිය බා දිය
18. වාඩියක උයන පිහන තැනැත්තා - පොංගල්
19. මුහුදේ සන්සුන් කාලය -  වලාල කාලය
20. රාත්‍රී කාලයේ මසුන් ඇල්ලීම - රෑ මූද

ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයේ ස්වභාවය.


               ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වූ මිනිසාගේ ආදීතම මුතුන් මිත්තන් පවා ඔවුන්ගේ පරිසරයෙන් අල්ලා ගන්නා ලද මසුන් අනුභව කරන ලදී. මෙය එකල මස් අනුභව කළ හැම කෙනෙකුගේම පුරුද්ද විය. මේ නිසා මසුන් ඇල්ලීම මිනිසාගේ පැරණිතම කාරයයන්ගෙන් එකකි. තම ආහාර සඳහා සතුන් දඩයමෙහි නියුක්ත වූවා සේම ඔහු එකල මසුන් ඇල්ලීමේ ද නිරත විය .

                ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයට වසර 2000 කට ආසන්න ඉතිහාසයක් තිබුණද, මෙම ක්ෂේත්‍රයෙහි වර්ධනයක් ඇති වූයේ 70 දශකයේ සිටය. වර්තමානය වන විට මෙරට ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාවෙන් 70 % ක්ද, කැල්සියම්, පොස්පරස්, පොටෑසියම්, යකඩ හා මැග්නීසියම් වැනි ජීවිතයට ට අත්‍යවශ්‍ය මූල ද්‍රව්‍යයන් ද, විටමින් ඒ හා සී ජීව ධාතු අසංද්‍රික මේද හා අම්ල ද මත්ස්‍ය ආහාර වලින් සපයනු ලැබේ. මේ අයුරින් බලන කළ ශ්‍රී ලාංකීය ජන ජීවිතයට අත්‍යාවශ්‍ය වූ කර්මාන්තයක් වශයෙන් ධීවර කර්මාන්තය හැඳින්විය හැකිය. ශ්‍රී ලංකා ආර්ථිකයෙහි වැදගත් කොටසක් හිමි කරගෙන ඇති ධීවර  කර්මාන්තය මෙරට ජනතාවගේ සේවා වියුක්ති ගැටළුවට විසඳුමක් වශයෙන් හදුනාගත හැකිය .

               ධීවර අංශයේ ශ්‍රී ලංකා ආර්ථිකයේ වැදගත් කොටසක් වන අතර එමගින් දළ දේශීය නිෂ්පාදනයට 3% ක් පමණ දායකත්වයක් ලැබේ. ධීවර කාර්මිකයින් සහ ජලජීවි වගා කරුවන් 150,000 පමණ ධීවර කර්මාන්තයේ සෘජුව නියැලී සිටින අතර තවත් 100000 පමණ මත්ස්‍ය සැකසුම, ධීවර යාත්‍රා තැනීම, දැල් හා අනෙකුත් ආම්පන්න නිපැයීම සහ වෙළඳාම වැනි කාර්යයන්හි නිරත වෙයි. වෙරළාසන්න ජීවත්වන දශ ලක්ෂයක් පමණ ජනතාව ධීවර කර්මාන්තයෙන් සිය ජීවිකාව සලසා ගන්නා බව ඇස්තමේන්තු කර ඇත. වර්තමානයේ මුහුදු ධීවර කර්මාන්තයේ යෙදෙන සංඛ්‍යාවේ සැලකිය යුතු වැඩිවීමක් දක්නට ලැබෙන අතර ඊට හේතුව ගැඹුරු මුහුදු ධීවර කර්මාන්තයෙන් වැඩි ආදායම් ඉපයීමට හැකි ව තිබීමයි .

                නිදහස ලැබීමෙන් පසුව ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයේ ක්‍රමිකව වර්ධනය විය. විශේෂයෙන් මත්ස්‍ය නිෂ්පාදන සේවා සැලකිය යුතු වර්ධනයක් සිදුවිය .නමුත් උතුරු නැගෙනහිර ප්‍රදේශවල පැවැති අර්බුදකාරී තත්ත්වය හමුවේ 1983න් පසු මත්ස්‍ය නිෂ්පාදනය   ක්‍රමයෙන් අඩු වී ඇත. 1983දී  මෙ.ටො. 220,806 ක් වූ මත්ස්‍ය නිෂ්පාදනය 1984 වන විට මෙ.ටො 196,351 දක්වා පහත වැටී ඇත. නමුත් පසුකාලීනව රජය ධීවර ක්ෂේත්‍රය දියුණු කිරීමට ගත් උත්සාහය තුළින් නිෂ්පාදනය ක්‍රමයෙන් වැඩි විය. රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ යාන්ත්‍රීකරණය සහ නවීකරණ වැඩ පිළිවෙළවල් තුළින්  මේ වන විට නිෂ්පාදනයෙහි ලබා ඇති වැඩි වීම 1950 වන විට තිබූ මට්ටම මෙන් දහ ගුණයකි.

               

             

Monday, July 22, 2019

 2.  ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය
  2.1  ධීවර කර්මාන්තය යනු කුමක්ද?

                    වර්ග කිලෝමීටර 21756 ක් විශාල මහද්වීපයක තටාකයක් සහ කිලෝමීටර 1360 ක් දිග වෙරළ තීරයකින් සමන්විත මෙරට සාගර සම්පත තුළ වෙරළේ සිට මුහුදු සැතපුම් 200 ක් තරම් වූ අනන්‍ය ආර්ථික කලාපයක් වෙන් කර ඇත. මෙම කලාපය තුළ නිදහසේ ධීවර කර්මාන්තයේ නියැලීමේ අයිතිය මෙරට ධීවරයා සතුය.

                     ධීවර කර්මාන්තයේේ ආරම්භයට අවුරුදු දහස් ගණනක ඉතිහාසයක් ඇතැයි කිව හැකිය. ප්‍රාථමික වශයෙන් මෙය ආරම්භ වූවා යැයි සැලකිය හැක්කේ ක්‍රි.ව 105 සිට 109 දක්වා කාලයේ ය. මෙය  අනුරාධපුර රාජධානියෙහි රාජ්‍ය පාලනය කරනු ලැබූ වසභ රජ දවස ආරම්භ වූවා යැයි සැලකිය හැකිය.ධීවර කර්මාන්තය මුලින්ම ආරම්භ කරනු ලැබූයේ මිරිදිය ආශ්‍රය කරගෙනය. මිරිදිය ධීවර කර්මාන්තයේ ව්‍යාප්තිය හේතු කොට ගෙන කරදිය මසුන් ඇල්ලීම දක්වා වර්ධනය වී තිබේ.

                     මේ අයුරින් ඇරඹුණු මත්ස්‍යයන් ඇල්ලීම දිගු කාලයක් තිස්සේ විකාශනය වීමේ ප්‍රතිඵලයක් ලෙස ධීවර කර්මාන්තයක් දක්වා වර්ධනය වී ඇත. ඉංග්‍රීසි ශබ්ද  කෝෂයට අනුව Fisherman යනු මසුන් මරන්නා ය. නමුත් ඇතැම් ග්‍රන්ථයන්ට අනුව මසුන් ඇල්ලීමෙහි නිරත වන්නා ධීවරයා වේ. එහෙත් එම ප්‍රකාශය තාර්කික නොවේ. මන්ද යත් සුරතල් මසුන් අල්ලන්නේ සුරතලයට ඇති කිරීමට, විකිණීමට,අපනයනයට පමණක් වන නිසාය. ඔවුන් සුරතල් මසුන් කිසි විටක පරිභෝජනය සඳහා නොගනී. මේ හේතුවෙන් මසුන්  අල්ලන පුද්ගලයන් ධීවරයන් වන්නේ නැත. ධීවරයන් යනු සැබෑ ලෙසම අපට හඳුනාගත හැක්කේ මසුන් මැරීමෙහි නිරත වන පුද්ගලයන් ය.  මසුන් ඇල්ලීමේ අතීතයේ ප්‍රධාන පරමාර්ථය වී ඇත්තේ ද මිනිසාගේ පරිභෝජනය සඳහාය. ඒ නිසාම පරිභෝජන අවශ්‍යතා ඉටු කරනුවස් මසුන්  මැරීමෙහි නිරත වන්නාට ධීවරයා යන නම යෙදී තිබේ.

                   වෘත්තියක් ලෙස පූර්ණකාලීනව අර්ධකාලීනව මසුන් මැරීමෙහි නිරත වන පුද්ගලයා හා ඔවුන් විසින් අල්ලා ගන්නා මත්ස්‍ය අස්වැන්න අලෙවි කිරීමෙහි නිරතව සිටින පුද්ගලයා ශ්‍රී ලංකා ජනරජය මගින් ධීවරයෙකු ලෙස හඳුන්වනු ලැබේ. ( 1996 අංක 2 දරන ශ්‍රී ලංකා ජනරජය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන පනත )
                    ජාතික ධීවර සහයෝගීත්වය ට අයත්  ධීවර ප්‍රජාවගෙන් සැඳුම්ලත් ධීවර  ක්‍රියාකාරීන් පවසන්නේ ධීවරයා යනු තම ජීවත්වීම සඳහා වෘත්තීයමය වශයෙන් නිරතුරුව මසුන් ඇල්ලීමෙහි පුද්ගලයා ය. ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කරන්නා හෝ සුළු වශයෙන් හා විනෝදය පිණිස මසුන් මැරීමෙහි නිරත වන අයකු වේ නම් ධීවරයන් නොවන බව එම සංවිධානයේ මතය වේ. (ජාතික ධීවර ප්‍රතිපත්තිය, 1999, 38 පිටුව)

                    RAYMOND FIRTH විග්‍රහ  කර ඇත්තේ සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයේ හෝ   ධීවර ක්‍රම මගින්  සරල ශිල්පීය ක්‍රම භාවිත කරමින් තම පරිභෝජනය ප්‍රමුඛ කර ගනිමින්  සාම්ප්‍රදායික සිරිත් අගයමින් ජීවත්වන ජන කණ්ඩායම් ගැමියන් වන බවයි. ඔහුට  අනුව සාම්ප්‍රදායික පන්න ක්‍රම භාවිත කරමින් සිය යැපීම් සඳහා මෙන් ම සුළු පරිමාණ අලෙවිය සඳහා මසුන් මැරීමෙහි නිරත වන්නා ධීවරයා ය. (පෙරේරා, 2002, 143 පිටුව) මලයාවේ කෙලින්ටන් වෙරළාශ්‍රිතව  RAYMOND FIRTH කළ අධ්‍යනයෙන් පෙන්වා දෙන්නේ,                 
                   ධීවරයන් කෘෂිකාර්මිකයන් සමඟ සම්බන්ධතා පවත්වාගෙන යයි. එසේම බොහෝ ධීවරයන් ධීවර කටයුතු වලට අමතරව කෘෂිකාර්මික කටයුතුවල ද නිරත වෙයි. ධීවරයන් සිය විශේෂ උත්සව අවස්ථා සඳහා ඥාති  හිතවතුන්ට ආරාධනා කරයි. ධීවරයන් හා කෘෂිකාර්මිකයන් අතර විවාහ සම්බන්ධතා ද ඇත. මේ අනුව ධීවරයන්ද  ගැමි අර්ථ ක්‍රමයට  අයත් කොටසක් ලෙස හඳුන්වා දිය හැක.( පෙරේරා, 2002, 145 පිටුව)
 
           අතීතයේ සිට ම මිනිස්සුන් මසුන් ඇල්ලීමෙහි නිරත වේ. ලෝක නීල විප්ලවයට පෙර යුගයේ බොහෝ විට මසුන් ඇල්ලීමෙන් වාණිජ පරමාර්ථයක් බලාපොරොත්තු වූයේ නැත. ඔවුනට උපරිම ලාභයක් අවශ්‍ය නොවීම ඊට හේතුවයි. අවශ්‍ය වූයේ වුයේ අවශ්‍යතාවන්ට පමණක් මත්ස්‍යයින් අල්ලා ගැනීම පමණි. නමුත් නීල විප්ලවයක් සමඟ මෙය වෙනත් මාවතක් කරා ඇදී යාම සිදුවිය. නීල විප්ලවය යනු සාගර සම්බන්ධයෙන් සිදු වූ කාර්මික සංවර්ධනය යි. විශේෂයෙන් ම මසුන් අල්ලා ගැනීමේ  තාක්ෂණික ක්‍රම අධි සංවර්ධිත මට්ටමට ලොව දියුණු ජාතීන් විසින් පත් කිරීම නිල විප්ලවය වශයෙන් හඳුනාගත හැකිය. මෙය පසුව ලෝකයේ සෑම සමාජයකටම පාහේ ව්‍යාප්ත වීම හේතු කොට ගෙන ධීවර කර්මාන්තය ස්ථාපිත වී දියුණු වීමට පටන් ගැණුනි. ඒත් සමඟම අවශ්‍යතාවට නොව උපරිම වාණිජ ලාභය ලබා ගැනීම සඳහා මත්ස්‍ය නිෂ්පාදනය කිරීම ආරම්භ විය.

           1950 - 70 දශකයේ දී පමණ ධීවර කර්මාන්තයේ සංවර්ධනය ලංකාවට බලපාන ලද බව සඳහන් කළ හැකිය. මෙතෙක් සාම්ප්‍රදායික ක්‍රම උපයෝගී කරගනිමින් මත්ස්‍ය නිෂ්පාදනයෙහි යෙදුන මිනිසුන් නවීන තාක්ෂණ ක්‍රම කෙරෙහි නැඹුරු විය. මෙහි දී පුද්ගලයින් තුළ ඇති වූ ආකල්පවල ස්වභාවය සෘජු ලෙසම බලපානු ලැබීය. විශේෂයෙන්ම ධීවර කර්මාන්තය ආර්ථිකේ තව දුරටත් පුළුල් කළ හැකි ක්ෂේත්‍රයක් ලෙස මෑත දශකයන්තහි පිළිගෙන  තිබේ. මීට හේතු වශයෙන් මසුන් බෝ කිරීම සහ අල්ලා ගැනීම කොතෙකුත් ඇති මිරිදිය වැව් සහ ජලාශ, කිවුල්දිය කලපු මෝවිටි,  විල්ලු ආදියත් දිවයින වටා ඇති මහ මුහුදු තීරයේ සුලභව ඇති මාළු සම්පත් දැක්විය හැක. තවද මාළු ශ්‍රී ලාංකික ජනයාගේ ආහාරවල අඩංගු වන ජනප්‍රිය ව්‍යංජනයකි. එසේම එය ප්‍රධාන මාංශ ජනක ප්‍රෝටීන් මූලාශ්‍රයක්ද වේ. නිරන්තරයෙන් ම සෑම සංවර්ධන සැලසුමකම ප්‍රමුඛත්වයෙහි ලා ධීවර කර්මාන්ත සංවර්ධනය සැලකීමට මේ කරුණු හේතු වූ බව සැබැවි.

              ශ්‍රී ලංකාව වූ කලී මුහුදෙන් වට ව පිහිටි දූපතක් නිසා රටේ වර්තමාන මසුන් නිෂ්පාදනයෙන් 85% ක් මුහුදු මසුන්ගෙන්  සමන්විත වේ. ඉතා සුලභව අනුගමනය කරනු ලබන මසුන් ඇල්ලීමේ වර්ගයක් වන්නේ මුහුදු මත්ස්‍යයන් ඇල්ලීමය.



Tuesday, July 9, 2019

                              පර්යේෂණ ක්‍රමවේදය සමාජ විද්‍යාඥයා සමාජය නැමැති පර්යේෂණාගාරය තුළ හිඳිමින් සිය අධ්‍යනයන් මෙහෙය වනු ලබයි. විවිධ සාධකයන් මුල් කොට ගනිමින් විවිධ වූ පර්යේෂණයන්හි නිරත වෙනු ලබයි. පර්යේෂණයක් එක් අදියරයකින් හෝ දෙකකින් ප්‍රතිඵල නෙලා ගත හැකි ක්‍රියාවක් නොවේ. එය අදියර ගණනාවක් එකට බැඳී ඇති ක්‍රියාවලියකි. සමාජ විද්‍යා පර්යේෂණ තුළ පර්යේෂණ ක්‍රමවේදයට වඩා වැදගත් තැනක් හිමිවේ. ''පර්යේෂණ ක්‍රමවේදය යනුවෙන් අදහස් කරන්නේ දත්ත රැස් කිරීමට යොදා ගන්නා විද්‍යාත්මක ශිල්ප ක්‍රම මොනවාද යන්නයි.'' මෙය පර්යේෂණයේ ඉතා වැදගත් කඩයිම් අවස්ථාවකි. එයට හේතුව මෙතෙක් පසු කළ පියවරවල් එක්තරා දුරකට න්‍යායාත්මක ස්වරූපයක් ගැනීම ය. ( කරුණාරත්න, 2001, පිටුව 9 ) මේ අනුව පර්යේෂණය සඳහා යොදා ගනු ලබන ක්‍රමවේදය වඩාත් වැදගත් වන බවයි.

                              පර්යේෂණ ක්‍රමයක් යන්න කුමක්දැයි විමසා බලන විට ''පර්යේෂණ ක්‍රමය විෂය පථයට, අධ්‍යයනයෙන් අධ්‍යනයට එමෙන් ම පර්යේෂකයා ගෙන් පර්යේෂකයාට වෙනස් විය හැකිය. (ධර්මසිරි, 2004 ,පිටුව 24 )පර්යේෂණයක් මෙහෙයවීම සඳහා යොදාගත හැකි පර්යේෂණ කිහිපයක් හඳුනාගත හැකිය. තුලනාත්මක ක්‍රමවේදය, ඓතිහාසික ක්‍රමවේදය, ජීවන ඓතිහාසික ක්‍රමවේදය යනාදී වූ වශයෙනි. මෙම අධ්‍යනය සඳහා සමීක්ෂණ ක්‍රමය සහ සංඛ්‍යාත්මක ක්‍රමය භාවිත කරන ලදී. ඒ.එම් දක්වන ආකාරයට සමීක්ෂණයක් යනු විද්‍යාත්මක ක්‍රමයක් තුළ යොදා ගත හැකි සංසන්දනාත්මක නැඹුරුවක් විය හැකි අතර එයත් යම් භූගෝලීය සීමාවක් තුළ වර්තමානයේ පවතින සමාජ ප්‍රශ්න පිළිබඳව අධ්‍යනයක් කිරීම තුළින් ඒවා නිශ්චිතව හඳුනා ගත හැකි අතර එම සමාජය පිළිබඳව පොදු දැනුමක් මෙන්ම බුද්ධිමය වූ සම්බන්ධීකරණ ක්‍රියාවලියකට මග පාදා ගත හැකි පර්යේෂණ ක්‍රමයක් වේ. (1943, .46) යම් සමාජ ගැටලුවකට විසඳුම් සෙවීමේ දී අධ්‍යනය සඳහා පහසුවෙන් යොදා ගත හැකි ක්‍රමයක් නිසාත් මූලික වශයෙන් ඕනෑම ප්‍රශ්නයක් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට හා යම් සිද්ධියක් විස්තර සහිතව පැහැදිලි කර ගැනීමට මෙම ක්‍රමය ඉතා වැදගත් වේ. එසේම අධ්‍යනය සඳහා ධීවර ජනතාවගේ භාෂාව, සමාජ තොරතුරු මෙන්ම ආර්ථික තොරතුරු ලබා ගැනීම උදෙසා ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක දත්ත උපයෝගී කරගත යුතු නිසාවෙන් සමීක්ෂණ ක්‍රමය අධ්‍යනය සඳහා මනා පිටුවහලක් විය. සමීක්ෂණ ක්‍රමය මගින් ලබාගත් ප්‍රමාණාත්මක දත්ත සංඛ්‍යාත්මක ක්‍රමය ඔස්සේ සංඛ්‍යාත්මකව ගණනය කිරීම හරහා විශ්ලේෂණ ක්‍රමයක් ලෙස සංඛ්‍යාත්මක ක්‍රමය දැක්විය හැකිය.(පලිහවඩන, 2006, පිටුව 198)
                             
                                 මෙම අධ්‍යනය සඳහා සංඛ්‍යාත්මක ක්‍රමය භාවිත කරන්නේ නිරීක්ෂණයෙන් හා සමීක්ෂණයෙන් ලැබෙන සියලුළුම දත්ත අර්ථාන්විත ලෙස සැකසීමට යොදා ගනු ලබන ගණිතමය ක්‍රමයක් ලෙසටය. එසේ ම පර්යේෂණය සඳහා බඳුන් කළ ධීවර ජනතාවගෙන් ලබාගත් සියලුම සමාජමය දත්තයන් විශ්ලේෂණය කර නිගමනයන් වලට පැමිණීමට සංඛ්‍යාත්මක ක්‍රමය තුළින් හැකිවිය. මෙම පර්යේෂණ ක්ෂේත්‍ර අධ්‍යයන සැලැස්මක් ආශ්‍රයෙන් සිදු කරනු ලබන්නක් බැවින් ගුණාත්මක දත්ත රැස් කිරීමේ ශිල්ප ක්‍රම අතුරින් ප්‍රශ්නාවලී ක්‍රමය, නිරීක්ෂණ ක්‍රමය සහ සම්මුඛ සාකච්ඡා ක්‍රමය ප්‍රධාන වශයෙන් යොදා ගන්නා ලදී. ප්‍රශ්නාවලී ක්‍රමය යනු සමාජය පිළිබඳව තොරතුරු ලබා ගත හැකි ඉතාමත් ප්‍රචලිත පරීක්ෂණ ක්‍රමයකි. (පලිහවඩන, 2006, පිටුව 255) ප්‍රශ්නාවලී ක්‍රමය අධ්‍යනය සඳහා යොදා ගනු ලැබුයේ දත්ත විශ්ලේෂණය පහසු කරවීම සදහා ය.


                                එමෙන්ම සෑම අංශයක්ම ආවරණය වන සේ තොරතුරු ලබාගැනීම සඳහා ප්‍රශ්නාවලිය තවදුරටත් වැදගත් විය. අදාළ ප්‍රශ්නාවලිය තෝරා ගත් නියදියට ඉදිරිපත් කරමින් පිළිතුරු ලිඛිතව ලබා ගැනීම සිදුවිය. සම්මුඛ සාකච්ඡා ක්‍රමය ද දත්ත රැස් කිරීමේ තවත් ශිල්ප ක්‍රමයක් වන අතරම අධ්‍යනය සඳහා වඩාත් වැදගත් විය. සම්මුඛ සාකච්ඡා යනු දෙපිරිසක් අතර ඇතිවන සාකච්ඡාවයි. මෙහිදී මූලික වශයෙන් වැදගත් වන්නේ දෙපිරිසම හෝ දෙදෙනා අතර පවතින උණුසුම් සුහද බවයි. (අමරසේකර 1998 පිටුව 27) කෙටියෙන් සඳහන් කළහොත් සම්මුඛ සාකච්ඡා ක්‍රමය යනු පරීක්ෂණයට භාජනය වන පුද්ගලයන් හා වාචික ප්‍රශ්න ඉදිරිපත් කරගෙන තොරතුරු ලබා ගැනීමේ ක්‍රමයයි. මෙම ධීවර ගම්මානය අධ්‍යනය කිරීම සඳහා සම්මුඛ සාකච්ඡා ක්‍රමය යොදා ගැනීම වඩාත් වැදගත් විය. මෙම ග්‍රාමයේ වැඩිහිටියන්, කාන්තාවන්, පුරුෂයන් සමග සාකච්ඡා කිරීම තුළින් බොහෝ තොරතුරු අනාවරණය කරගැනීමට හැකි විය. තවද ග්‍රාම නිලධාරි මහතා, පියතුමා හමුවී වැසියන් ගේ සමාජ,දේශපාලන, ආගමික හා සංස්කෘතික පසුබිම පිළිබඳ සාකච්ඡා කිරීමට හැකිවිය. එබැවින් දකුණු තොඩුවාව ප්‍රදේශය පිළිබඳ දත්ත ඒකරාශී කිරීමට හැකි විය. සම්මුඛ සාකච්ඡා ක්‍රමයට අමතරව දත්ත රැස් කිරීම සඳහා යොදා ගත් අනෙක් ක්‍රමය වන්නේ නිරීක්ෂණයයි. සහභාගී නොවන නිරීක්ෂණවලදී පර්යේෂකයා අදාළ ප්‍රපංචය හෝ ප්‍රජාව තුළ කිසිම කාර්යයකට සහභාගී නොවන අතර ඔහු විසින් තමන්ගේ නිරීක්ෂණ කරගෙන යනු ලැබේ. (සිල්වා, 2001 , පිටුව 158 )


                                  මෙම නිරීක්ෂණ ක්‍රමය යොදා ගනිමින් දකුණු තොඩුවාව ග්‍රාමයේ ජනයාගේ ආර්ථිකය, ආගමික කටයුතු, පුද පූජා දෛනික දිවිපෙවෙත යනාදිය පිළිබඳ වඩ වඩාත් අධ්‍යනය කිරීමට හැකි විය. ඕනෑම පර්යේෂණයක දී රැස් කරනු ලබන තොරතුරු ප්‍රාථමික මූලාශ්‍ර හා ද්විතීක මූලාශ්‍ර වශයෙන් කොටස් දෙකකට බෙදිය හැක. ප්‍රාථමික මූලාශ්‍ර යනු පර්යේෂකයා විසින් ම සොයා ගන්නා ලදුව දැනට විවිධාකාරයෙන් වාර්තා කර ඇති කරුණුය. (කරුණාරත්න, 2001, පිටුව 27) මෙම අධ්‍යයනය සඳහා ප්‍රාථමික දත්ත ලෙස යොදාගනු ලැබුයේ ගමේ වැඩිහිටියන්ගෙන්, ගමේ පුරුෂයන්ගෙන්, ගමේ කාන්තාවන්ගෙන්, ග්‍රාමසේවක මහතාගෙන් හා ආගමික නායකයින්ගෙන් ලබාගත් තොරතුරු මතය. ද්විතීක මූලාශ්‍ර ඕනෑම පර්යේෂණයක දී යොදා ගනු ලබන දෙයකි. එය විද්‍යාත්මක ශික්ෂණයක් පර්යේෂණයකට එකතු කිරීමකි. ද්විතීක මූලාශ්‍ර පරිහරණය කරනු ලබන සෑම අවස්ථාවකදී ම තම පර්යේෂණයේ අදාළ තැන්වල සඳහන් කිරීම පර්යේෂණ ආචාර ධර්ම වලට අයත්ය. (කරුණාරත්න, 2001, පිටුව 27) මෙහිදී මා විසින් ද්විතීක මූලාශ්‍ර ධීවර අමාත්‍යාංශය මගින් පල කරනු ලබන සංගණන වාර්තාවන් තුළින්ද ධීවර කර්මාන්තය හා සම්බන්ධයෙන් පළ කරනු ලබන වාර්තාවන් තුළින් ද අනෙකුත් පොත පත පරිශීලනය කිරීමෙන් ද යොදාගනු ලැබිණි. මේ සියල්ල ඒකරාශී කරගනිමින් සාර්ථක අධ්‍යනයක නිරත වීමට හැකි වුණි.

පර්යේෂණයේ අරමුණු

ඕනෑම අධ්‍යයනයක් සිදු කිරීමේදී ඒ හා සම්බන්ධ අරමුණු අභිමතාර්ථ හා අභිලාෂයන් සඳහා වඩා ප්‍රමුඛස්ථානයක් ලැබේ. සෑම අධ්‍යයනයක් සම්බන්ධවම විවිධ අරමුණු තිබිය හැක. ධීවර භාෂාව පිළිබඳව අධ්‍යයනයේ දී ද අරමුණු හා අභිමතාර්ථයන් රැසක් පෙරදැරි කර ගනිමින් අධ්‍යනය සිදු කර ඇත.

              ධීවර භාෂාව යනු කුමක්ද?  මේ වන විට උප භාෂාවක් වශයෙන්  ධීවර භාෂා ව්‍යවහාරය සමාජය තුළ හිමිව ඇති තත්වය? භාෂාව සමාජ ප්‍රවාහය තුළ තුළ ක්‍රියාත්මක වන ආකාරය ? ධීවර වෘත්තිය හා බැඳුණු උප සංස්කෘතික කලාපයන් මොනවාද?

                 ඉහත සඳහන් අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා මා විසින් අධ්‍යනය සිඳු කරනු ලැබිණි.

පර්යේෂණ ගැටලුව

පර්යේෂණයක් යනු අංග ගණනාවකින් යුතු ක්‍රියාවලියකි. සමාජ විද්‍යාඥයා තෝරාගත් යම් ගැටලුවක් ඒ පිළිබඳ නිගමනයන්ට එළඹීම දක්වා ගෙන යා යුතුය. තෝරාගත් ගැටලුවක් ආශ්‍රයෙන් පර්යේෂකයාට සිය සැලැස්ම සකස් කළ හැකිය. පර්යේෂකයෙකුට තම පර්යේෂණයේ සීමාවන් තීරණය කර ගැනීම සඳහා ගැටලුව උපකාරී වේ.'' යම්කිසි පර්යේෂණයක් ඉදිරියට ගෙන යාමට නම් ගැටලුව ආශ්‍රිතව කළ හැකි විග්‍රහයක් හෝ එම ගැටලුව විසඳිය හැකි යම්කිසි ක්‍රමයක් ගැන හෝ කිසියම් හැඟීමක් මූලික වශයෙන් තිබිය යුතුය.''


                ධීවර භාෂාව වෘත්තික ව්‍යවහාරයක්  මත ගොඩ නැඟුණු පරිමිත ව්‍යවහාරයක් වශයෙන් හඳුනා ගත හැකි ද ?

Tuesday, June 25, 2019

දකුණු පිටිගල් කෝරළයේ ධීවර ජනතාවගේ භාෂාව පිළිබඳ අධ්‍යනයක්

හැඳින්වීම

                         භාෂාව වාග් විද්‍යාවේ විෂය ක්ෂේත්‍රයයි. වාග්විද්‍යාව නම් භාෂාවක් පිළිබඳව හෝ භාෂා පිළිබඳ ව කරනු ලබන අධ්‍යයනය යි. වාග් විද්‍යාව යන්න සෑදී ඇත්තේ වාච් - විද්‍යා යන වචන දෙක සමාස වීමෙනි. වචනය හෙවත් භාෂණය පිළිබඳ විද්‍යාව යනු එහි වාච්‍යාර්ථය යි.
                     
                          භාෂා යන්න ද බොහෝ දුරට වාච්/වාක්/වාග් යන්න හා සමානාර්ථවත් වචනයකි. එහෙත් මේ වචන දෙක ම විවිධ වූ තවත් අරුත් පළ කිරීම සඳහා ද ජන වහරෙහි මෙන්ම සේ වහරෙහිත් යෙදෙන අවස්ථා දක්නට ඇත. ඉනිදු,  භාෂා යන්න වාක් යන්නටත් වඩා පුළුල් ලෙස ජනවහරෙහි යෙදෙන්නෙකි. එසේ හෙයින් භාෂාව පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යනයක් කිරීමේදී පළමු කොට ම එම අධ්‍යයනයෙහි ලා  භාෂා යන්නෙන් අභිප්‍රේත වන අරුත පිළිබඳව සීමා නියමයක්, අර්ථ නිශ්චයක් කර ගැනීම අවශ්‍ය ය.

                  භාෂා යන්න ව්‍යක්ත වචන අර්ථයෙහි යෙදෙන භාෂ්-  ධාතුවෙන් හෙවත් ක්‍රියා මූලයෙන් නිපන් කෘදන්ත නාමයකි.  ව්‍යක්ත වචන නම් ව්‍යක්ත ලෙස බිණීමයි. කථා කිරීමයි.  මෙහි ව්‍යක්ත යන්නෙන් පැවසෙන්නේ ස්වර - ව්‍යඤ්ජන වශයෙන් පැහැදිලි ශබ්ද සහිත වූ යන අරුතයි. මේඝ නාදය, කෝකිල නාදය, ඈ තන්හි යෙදෙන නාද යන්න සමඟ සසඳා බැලීමෙන් මේ කියන අරුත වඩාත් විශද වේ. නාද යන කෘදන්ත නාමයට මුල් වූ නද් ධාතුවෙන් පැවැසෙන්නේ අව්‍යක්ත ශබ්ද අර්ථයයි. එහෙයින්ම නාද යන්නෙන් ගැනෙන ශබ්දයෙහි  ස්වර - ව්‍යඤ්ජන වශයෙන් පැහැදිලි බවක් අභිප්‍රේත නොවේ. වාග් විද්‍යාවේ නිතර යෙදෙන වාක්/ වාග්,  වචන අර්ථයෙහි යෙදෙන්නෙකි. වාක්/වාග් යනු වචනාර්ථ විසින් බොහෝ දුරට භාෂාව යන්න හා සමාන සේ සැලකෙන්නේ ද එ හෙයිනි. නිරුක්ත්‍යර්ථ විසින් මෙන්ම ඇතැම් වාච්‍යාර්ථ විසින් ද  ඒ දෙක අතරෙහි සමානතාවක් ඇත ද, ප්‍රයෝග විසින් හෙවත්  දෙන තැන් විසින් වෙනස් අරුත් හෝ අරුත් සේයා හෝ පැවසෙන අවස්ථා නැත්තේ නොවේ. සමානාර්ථ වචන යැයි කියනු ලබන වෙනත් බොහෝ වචන සම්බන්ධයෙනුදු මෙකී විශේෂතා ලක්ෂණ අදාළ වන බව සැළකුව මනාය .

               භාෂාවේ සංස්ථිතිය පද්ධති හා අනු පද්ධති ඉහත දැක්වූ භාෂාව නිර්වචනයට අනුව භාෂාව පළමුකොටම සංකේත පද්ධතියකි. මෙහි ලා වෙසෙසින් වැදගත් වන මෙම සංකේත පද්ධති යන වචන දෙකෙහි අරුත් හරි හැටි වටහා ගැනීම භාෂාවේ යථා ස්වරූපය වටහා ගැනීමට උපකාරී වෙයි.

                 පද්ධතියක් නම් කුමන ආකාරයක හෝ ඒකයන්ගේ විධිමත්  වූ අන්‍යෝන්‍ය සම්බන්ධතාවෙන් යුක්ත වූ එකතුවකි. එකතුවීම අවිධිමත් නම් අක්‍රමවත් නම් ගැළපීමක් නැති නම්, ඒකක සමූහයක් එක් වූ පමණින් එය පද්ධතියක් නොවේ. පද්ධතියක් වන්නට නම්, ඒවා අදාළ රටා සමුදායකට හා රීති සමුදායට අනුව සංඝටනය වී තිබිය යුතුය. මෙකී පද්ධතික ලක්ෂණය භාෂා සංස්ථිතියෙහි හෙවත් භාෂාවේ ව්‍යුහ‍යෙහි සුවිශේෂ ලක්ෂණයකි. භාෂාමය ඒකකයන්ගේ සංඝටනාව ආන්වයික අනුපද්ධති හෙවත් අනුක්‍රමික අනුපද්ධති කිහිපයකින් සමන්විත  පද්ධතියක් වන හෙයිනි.

                     ඒ පද්ධති අතර,
               
                 1. සංඥාණ හා සංකේත
                 2. වාක් සංකේත
                 3. අර්පිතාර්ථක/ සම්මුතිකභාවය හඳුන්වා දිය හැක.

                  භාෂාවේ කාර්යය: සමාජ සම්මුතික වාක් සංකේත පද්ධතියක් වශයෙන් භාෂාවේ ආකෘතික ස්වරූපය හඳුනා ගැනීමෙන් අනතුරුව එහි කාර්යය පිළිබඳවද විමසා බැලීම අවශ්‍යය. ඉහත දැක්වූ භාෂා නිර්වචනයෙහි මිනිසුන් අන්‍යෝන්‍ය ක්‍රියාකාරීතා පැවැත්වීම හා සන්නිවේදනය සඳහා යොදා ගන්නා යන්නෙන් භාෂාවේ කාර්ය හකුළා දැක්වීමක් කොට ඇත. සන්නිවේදනය හැර භාෂාවෙන් කෙරෙන සමාජීය ක්‍රියා ප්‍රතික්‍රියා සියල්ලක්ම මෙහි කී අන්‍යෝන්‍ය  ක්‍රියාකාරීතා යන්නට ඇතුළත් වේ. චින්තනය හා ස්වයං භාෂණය වැනි ආත්මීය කාර්යය වලටද බොහෝ විට භාෂාව උපයෝගී වුවද ඒවායේ සමාජීය ලක්ෂණ හෝ අන්‍යෝන්‍ය ක්‍රියාකාරීතා ලක්ෂණ හෝ නැත. අන්‍යෝන්‍ය ක්‍රියාකාරීතාවලද කිසියම් අයුරකින් සන්නිවේදනය ගැබ් වන බව පෙන්විය හැකිය. ජියෝෆ්‍රි ලීච් ඉදිරිපත් කරන භාෂාවේ පංචවිධ කාර්ය වර්ගීකරණය නිදසුනි. මෙහිලා ඔහු සෞන්දර්ය සංවාදය ඇතුළු භාෂාවේ සියලු සාමාජීය කාර්යය සන්නිවේදනමය කාර්යය ලෙස හඳුන්වා ඇත. සැපියර්ද භාෂා නිර්මාණයෙහි මුළු අරමුණම සන්නිවේදනය සේ සැලකූ බව මෙහිදී සිහිපත් කළ යුතුය.

              ශ්‍රී ලංකාව වූ කලී සතර අතින්ම මුහුදින් වටවූ දූපතකි. එසේම සංවර්ධනය වෙමින් පවත්නා ශ්‍රී ලංකාවේ ආර්ථිකය නඟා සිටුවීමට ස්වභාව ධර්මයෙන් ලැබී ඇති මහඟු දායාදයක් ලෙස මුහුදු සම්පත දැක්විය හැක. ලොව වසන ජනයා හට පෝෂ්‍යදායී ආහාර වේලක් මෙන්ම දශලක්ෂ ගණනක් වූ මිනිසුන්ට ජීවිකාවක් ද සපයා දෙයි. මේ අතර ශ්‍රී ලංකාවේ ධීවර ජනයා තම ජීවිකාව වශයෙන් මෙය සිඳු කරන අතර වාරයේ ඔවුන් කතා කරන භාෂා ව්‍යවහාරය අපට වැඳගත් වේ.

                       ධීවර කර්මාන්තය වූ කලී මෑත කාලීනව ඇති වූවක් නොවේ. එයට අවුරුදු දස දහස් ගණනක දිගු ඉතිහාසයක් ඇත. ප්‍රාථමික වශයෙන් ආරම්භ වූවායැයි සැලකිය හැක්කේ ක්‍රි.ව 105 සිට 109 දක්වා කාලයේ රජ කළ වසභ රජ දවස ය. මසුන් ඇල්ලීමේ මූලික පරමාර්ථය වූයේ පරිභෝජනය සඳහා පමණි. නමුත් මසුන් ඇල්ලීම දිගු කලක පටන් විකාශනය වී සංවර්ධනය වීම හේතු කර ගනිමින් මසුන් ඇල්ලීම ධීවර කර්මාන්තයක් දක්වා වර්තමානය වන විට විකාශය වී ඇත. එසේම මුහුද ආශ්‍රිතව ජීවත් වන බොහෝ පුද්ගලයින්ගේ රැකියාව බවට පත්ව ඇත්තේ ද ධීවර වෘත්තිය යි.

                       මෙහිදී ඔවුන්ටම ආවේණික වූ භාෂා ව්‍යවහාරයක් වෘත්තීමය වශයෙන් භාවිත කෙරුණු අතර ධීවර භාෂාව යනුවෙන් නූතනයේ ව්‍යවහාර වේ. ධීවර සමාජය වූ කලී පීතෘ මූලික සමාජ සංස්ථාවකි. මෙම පීතෘ මූලික සමාජ තත්වය තුළ ඔහුට එම තත්වය ලැබී ඇත්තේ බියකරුවූත් චණ්ඩවූත් සැඩ රළ අතර ගෙවන දිවි පෙවත නිසා විය යුතුය. මේ දිවි පෙවත අතරතුර ඔවුන් නොයෙකුත් කාර්‍යභාරයක් ඈත දියබේදී සිඳු කරනු ඇත. එහිදී ඔවුන් සිඳු කරනු ලබන නොයෙකුත් කාර්‍ය්යන් හා සබැඳි උප භාෂා ව්‍යවහාරය මෙහිදී සාකච්චාවට ලක් කරයි. ලෝකයේ වෙසෙන ජනයාගෙන් බොහෝ පුරුෂයන් මේ වෘත්තියෙහි නියැලේ. ධීවර කාන්තාවන් සිය පවුල් කුටුම්භය රැක ගනිමින් සිය සැමියාට සහය දක්වයි.ඒ අතරේ පුරුෂයා නිවසේ භාවිත කරන භාෂාව හා දියබේදී භාවිත කරන භාෂාව පිළිබඳව මෙහිදී පුළුල් වශයෙන් විමසුමට ලක් කරයි. මෙම භාෂා ව්‍යවහාරය පළාත්,ප්‍රාදේශීය,ග්‍රාමීය වශයෙන් භාවිත වන ආකාරයක් දැකිය හැක. ධීවර කර්මාන්තයේ යෙදෙන ප්‍රධාන පළාතක් වන වයඹ පළාතේ හලාවත ප්‍රදේශය වෙත මගේ නෙත් යොමු වූයේ එහෙයිනි. එහි අන් ප්‍රදේශ හා සසඳා බලන කල දැකිය හැකි සුවිශේෂත්වයක් ද තිබේ. ධීවර කර්මාන්තයේ යෙදෙන ප්‍රධාන ධීවර ප්‍රදේශයක් වන හලාවත ප්‍රදේශය ඇසුරින් කරන ලද අධ්‍යනය පරිච්චේද පහකින් සමන්විත වේ. මෙහි දෙවන පරිච්ඡේදයේ දී ධීවර ජන වහර විවරණය කෙරේ.