Tuesday, June 25, 2019

දකුණු පිටිගල් කෝරළයේ ධීවර ජනතාවගේ භාෂාව පිළිබඳ අධ්‍යනයක්

හැඳින්වීම

                         භාෂාව වාග් විද්‍යාවේ විෂය ක්ෂේත්‍රයයි. වාග්විද්‍යාව නම් භාෂාවක් පිළිබඳව හෝ භාෂා පිළිබඳ ව කරනු ලබන අධ්‍යයනය යි. වාග් විද්‍යාව යන්න සෑදී ඇත්තේ වාච් - විද්‍යා යන වචන දෙක සමාස වීමෙනි. වචනය හෙවත් භාෂණය පිළිබඳ විද්‍යාව යනු එහි වාච්‍යාර්ථය යි.
                     
                          භාෂා යන්න ද බොහෝ දුරට වාච්/වාක්/වාග් යන්න හා සමානාර්ථවත් වචනයකි. එහෙත් මේ වචන දෙක ම විවිධ වූ තවත් අරුත් පළ කිරීම සඳහා ද ජන වහරෙහි මෙන්ම සේ වහරෙහිත් යෙදෙන අවස්ථා දක්නට ඇත. ඉනිදු,  භාෂා යන්න වාක් යන්නටත් වඩා පුළුල් ලෙස ජනවහරෙහි යෙදෙන්නෙකි. එසේ හෙයින් භාෂාව පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යනයක් කිරීමේදී පළමු කොට ම එම අධ්‍යයනයෙහි ලා  භාෂා යන්නෙන් අභිප්‍රේත වන අරුත පිළිබඳව සීමා නියමයක්, අර්ථ නිශ්චයක් කර ගැනීම අවශ්‍ය ය.

                  භාෂා යන්න ව්‍යක්ත වචන අර්ථයෙහි යෙදෙන භාෂ්-  ධාතුවෙන් හෙවත් ක්‍රියා මූලයෙන් නිපන් කෘදන්ත නාමයකි.  ව්‍යක්ත වචන නම් ව්‍යක්ත ලෙස බිණීමයි. කථා කිරීමයි.  මෙහි ව්‍යක්ත යන්නෙන් පැවසෙන්නේ ස්වර - ව්‍යඤ්ජන වශයෙන් පැහැදිලි ශබ්ද සහිත වූ යන අරුතයි. මේඝ නාදය, කෝකිල නාදය, ඈ තන්හි යෙදෙන නාද යන්න සමඟ සසඳා බැලීමෙන් මේ කියන අරුත වඩාත් විශද වේ. නාද යන කෘදන්ත නාමයට මුල් වූ නද් ධාතුවෙන් පැවැසෙන්නේ අව්‍යක්ත ශබ්ද අර්ථයයි. එහෙයින්ම නාද යන්නෙන් ගැනෙන ශබ්දයෙහි  ස්වර - ව්‍යඤ්ජන වශයෙන් පැහැදිලි බවක් අභිප්‍රේත නොවේ. වාග් විද්‍යාවේ නිතර යෙදෙන වාක්/ වාග්,  වචන අර්ථයෙහි යෙදෙන්නෙකි. වාක්/වාග් යනු වචනාර්ථ විසින් බොහෝ දුරට භාෂාව යන්න හා සමාන සේ සැලකෙන්නේ ද එ හෙයිනි. නිරුක්ත්‍යර්ථ විසින් මෙන්ම ඇතැම් වාච්‍යාර්ථ විසින් ද  ඒ දෙක අතරෙහි සමානතාවක් ඇත ද, ප්‍රයෝග විසින් හෙවත්  දෙන තැන් විසින් වෙනස් අරුත් හෝ අරුත් සේයා හෝ පැවසෙන අවස්ථා නැත්තේ නොවේ. සමානාර්ථ වචන යැයි කියනු ලබන වෙනත් බොහෝ වචන සම්බන්ධයෙනුදු මෙකී විශේෂතා ලක්ෂණ අදාළ වන බව සැළකුව මනාය .

               භාෂාවේ සංස්ථිතිය පද්ධති හා අනු පද්ධති ඉහත දැක්වූ භාෂාව නිර්වචනයට අනුව භාෂාව පළමුකොටම සංකේත පද්ධතියකි. මෙහි ලා වෙසෙසින් වැදගත් වන මෙම සංකේත පද්ධති යන වචන දෙකෙහි අරුත් හරි හැටි වටහා ගැනීම භාෂාවේ යථා ස්වරූපය වටහා ගැනීමට උපකාරී වෙයි.

                 පද්ධතියක් නම් කුමන ආකාරයක හෝ ඒකයන්ගේ විධිමත්  වූ අන්‍යෝන්‍ය සම්බන්ධතාවෙන් යුක්ත වූ එකතුවකි. එකතුවීම අවිධිමත් නම් අක්‍රමවත් නම් ගැළපීමක් නැති නම්, ඒකක සමූහයක් එක් වූ පමණින් එය පද්ධතියක් නොවේ. පද්ධතියක් වන්නට නම්, ඒවා අදාළ රටා සමුදායකට හා රීති සමුදායට අනුව සංඝටනය වී තිබිය යුතුය. මෙකී පද්ධතික ලක්ෂණය භාෂා සංස්ථිතියෙහි හෙවත් භාෂාවේ ව්‍යුහ‍යෙහි සුවිශේෂ ලක්ෂණයකි. භාෂාමය ඒකකයන්ගේ සංඝටනාව ආන්වයික අනුපද්ධති හෙවත් අනුක්‍රමික අනුපද්ධති කිහිපයකින් සමන්විත  පද්ධතියක් වන හෙයිනි.

                     ඒ පද්ධති අතර,
               
                 1. සංඥාණ හා සංකේත
                 2. වාක් සංකේත
                 3. අර්පිතාර්ථක/ සම්මුතිකභාවය හඳුන්වා දිය හැක.

                  භාෂාවේ කාර්යය: සමාජ සම්මුතික වාක් සංකේත පද්ධතියක් වශයෙන් භාෂාවේ ආකෘතික ස්වරූපය හඳුනා ගැනීමෙන් අනතුරුව එහි කාර්යය පිළිබඳවද විමසා බැලීම අවශ්‍යය. ඉහත දැක්වූ භාෂා නිර්වචනයෙහි මිනිසුන් අන්‍යෝන්‍ය ක්‍රියාකාරීතා පැවැත්වීම හා සන්නිවේදනය සඳහා යොදා ගන්නා යන්නෙන් භාෂාවේ කාර්ය හකුළා දැක්වීමක් කොට ඇත. සන්නිවේදනය හැර භාෂාවෙන් කෙරෙන සමාජීය ක්‍රියා ප්‍රතික්‍රියා සියල්ලක්ම මෙහි කී අන්‍යෝන්‍ය  ක්‍රියාකාරීතා යන්නට ඇතුළත් වේ. චින්තනය හා ස්වයං භාෂණය වැනි ආත්මීය කාර්යය වලටද බොහෝ විට භාෂාව උපයෝගී වුවද ඒවායේ සමාජීය ලක්ෂණ හෝ අන්‍යෝන්‍ය ක්‍රියාකාරීතා ලක්ෂණ හෝ නැත. අන්‍යෝන්‍ය ක්‍රියාකාරීතාවලද කිසියම් අයුරකින් සන්නිවේදනය ගැබ් වන බව පෙන්විය හැකිය. ජියෝෆ්‍රි ලීච් ඉදිරිපත් කරන භාෂාවේ පංචවිධ කාර්ය වර්ගීකරණය නිදසුනි. මෙහිලා ඔහු සෞන්දර්ය සංවාදය ඇතුළු භාෂාවේ සියලු සාමාජීය කාර්යය සන්නිවේදනමය කාර්යය ලෙස හඳුන්වා ඇත. සැපියර්ද භාෂා නිර්මාණයෙහි මුළු අරමුණම සන්නිවේදනය සේ සැලකූ බව මෙහිදී සිහිපත් කළ යුතුය.

              ශ්‍රී ලංකාව වූ කලී සතර අතින්ම මුහුදින් වටවූ දූපතකි. එසේම සංවර්ධනය වෙමින් පවත්නා ශ්‍රී ලංකාවේ ආර්ථිකය නඟා සිටුවීමට ස්වභාව ධර්මයෙන් ලැබී ඇති මහඟු දායාදයක් ලෙස මුහුදු සම්පත දැක්විය හැක. ලොව වසන ජනයා හට පෝෂ්‍යදායී ආහාර වේලක් මෙන්ම දශලක්ෂ ගණනක් වූ මිනිසුන්ට ජීවිකාවක් ද සපයා දෙයි. මේ අතර ශ්‍රී ලංකාවේ ධීවර ජනයා තම ජීවිකාව වශයෙන් මෙය සිඳු කරන අතර වාරයේ ඔවුන් කතා කරන භාෂා ව්‍යවහාරය අපට වැඳගත් වේ.

                       ධීවර කර්මාන්තය වූ කලී මෑත කාලීනව ඇති වූවක් නොවේ. එයට අවුරුදු දස දහස් ගණනක දිගු ඉතිහාසයක් ඇත. ප්‍රාථමික වශයෙන් ආරම්භ වූවායැයි සැලකිය හැක්කේ ක්‍රි.ව 105 සිට 109 දක්වා කාලයේ රජ කළ වසභ රජ දවස ය. මසුන් ඇල්ලීමේ මූලික පරමාර්ථය වූයේ පරිභෝජනය සඳහා පමණි. නමුත් මසුන් ඇල්ලීම දිගු කලක පටන් විකාශනය වී සංවර්ධනය වීම හේතු කර ගනිමින් මසුන් ඇල්ලීම ධීවර කර්මාන්තයක් දක්වා වර්තමානය වන විට විකාශය වී ඇත. එසේම මුහුද ආශ්‍රිතව ජීවත් වන බොහෝ පුද්ගලයින්ගේ රැකියාව බවට පත්ව ඇත්තේ ද ධීවර වෘත්තිය යි.

                       මෙහිදී ඔවුන්ටම ආවේණික වූ භාෂා ව්‍යවහාරයක් වෘත්තීමය වශයෙන් භාවිත කෙරුණු අතර ධීවර භාෂාව යනුවෙන් නූතනයේ ව්‍යවහාර වේ. ධීවර සමාජය වූ කලී පීතෘ මූලික සමාජ සංස්ථාවකි. මෙම පීතෘ මූලික සමාජ තත්වය තුළ ඔහුට එම තත්වය ලැබී ඇත්තේ බියකරුවූත් චණ්ඩවූත් සැඩ රළ අතර ගෙවන දිවි පෙවත නිසා විය යුතුය. මේ දිවි පෙවත අතරතුර ඔවුන් නොයෙකුත් කාර්‍යභාරයක් ඈත දියබේදී සිඳු කරනු ඇත. එහිදී ඔවුන් සිඳු කරනු ලබන නොයෙකුත් කාර්‍ය්යන් හා සබැඳි උප භාෂා ව්‍යවහාරය මෙහිදී සාකච්චාවට ලක් කරයි. ලෝකයේ වෙසෙන ජනයාගෙන් බොහෝ පුරුෂයන් මේ වෘත්තියෙහි නියැලේ. ධීවර කාන්තාවන් සිය පවුල් කුටුම්භය රැක ගනිමින් සිය සැමියාට සහය දක්වයි.ඒ අතරේ පුරුෂයා නිවසේ භාවිත කරන භාෂාව හා දියබේදී භාවිත කරන භාෂාව පිළිබඳව මෙහිදී පුළුල් වශයෙන් විමසුමට ලක් කරයි. මෙම භාෂා ව්‍යවහාරය පළාත්,ප්‍රාදේශීය,ග්‍රාමීය වශයෙන් භාවිත වන ආකාරයක් දැකිය හැක. ධීවර කර්මාන්තයේ යෙදෙන ප්‍රධාන පළාතක් වන වයඹ පළාතේ හලාවත ප්‍රදේශය වෙත මගේ නෙත් යොමු වූයේ එහෙයිනි. එහි අන් ප්‍රදේශ හා සසඳා බලන කල දැකිය හැකි සුවිශේෂත්වයක් ද තිබේ. ධීවර කර්මාන්තයේ යෙදෙන ප්‍රධාන ධීවර ප්‍රදේශයක් වන හලාවත ප්‍රදේශය ඇසුරින් කරන ලද අධ්‍යනය පරිච්චේද පහකින් සමන්විත වේ. මෙහි දෙවන පරිච්ඡේදයේ දී ධීවර ජන වහර විවරණය කෙරේ.

No comments:

Post a Comment